Stock Statistics

Monday, March 3, 2014

කොටස් වෙළද පොළට සම්බන්ධ පාරිභාෂිත වචන

CDS ගිණුම
කොටස් වෙළද පොලට සම්බන්ද වන ආයෝජකයෙක්, කොටස් වෙළද පොළට සම්බන්දවීමට ප්‍රථම පළමුවෙන්ම සිදුකළ යුතු කාර්ය වන්නේ CDS ගිණුමක් ආරම්භ කිරීමය. එහිදි ආයෝජකයා කොටස් තැරැව්කාර සමාගමක් වෙත ගොස්, ඔවුන් හරහා CDS ගිණුමක් විවෘත කළ යුතුය. මෙය මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමක් ලෙසද හැදින්වෙයි.
CDS ගිණුමක් විවෘත කිරීමෙන් තොරව ආයෝජකයෙකුට කොටස් වෙළද පොළට සම්බන්ධවීමේ, එනම් කොටස් මිළදී ගැනීමේ හෝ විකිණීමේ අවස්ථාව හිමි නොවෙයි. CDS ගිණුමක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයා වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අයෙකු විය යුතුය. එමෙන්ම තමාගේ ස්ථිර පදිංචිය තහවුරු කළ හැකි ලියවිල්ලක් (විදුලි බිල්පතක්, ජල බිල්පතක් ආදී) සහ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක් රැගෙන කොටස් තැරැව්කාර ආයතන‍ය වෙත ගොස් CDS ගිණුම විවෘත කළ යුතුය. එහිදි කොටස් තැරැව්කාර ආයතනයේදී අවශ්‍ය ලිපිලේඛන පුරවා අවසන් වීමෙන් පසුව ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාව ආයෝජකයාට හිමිවේ. 


CDS ගිණුමක් හරහා සිදු වන්නේ කොටස් වෙළදාමට අවශ්‍ය පහසුකම් සැලසීමය. යම් ආයෝජකයෙකු කොටස් මිළදී ගත් විට CDS ගිණුමට එම කොටස් ප්‍රමාණය බැරවී කොටස් විකුණූ ආයෝජකයාගේ ගිණුමට හර වන අතර, යම් ආයෝජකයෙකු තමා සතු කොටස් ප්‍රමාණය විකුණූ විට ඔහුගේ ගිණුමට හර වී, කොටස් මිළදී ගත් ආයෝජකයාගේ CDS ගිණුමට එම කොටස් ප්‍රමාණය බැර වීමක් සිදුවෙයි.

ගැනුම් කුවිතාන්සි සහ විකුණුම් කුවිතාන්සි
කොටස් වෙළද පොළට සම්බන්ධ වී සිටින ආයෝජකයෙකු කොටස් මිළදී ගැනීමෙන් පසු හා තමා සතු කොටස් විකිණීමෙන් පසු කොටස් මිළදී ගත් බව හෝ‍ කොටස් විකුණු බව සනාථ කරමින් ලැබෙන සහතික ගැනුම් කුවිතාන්සිය (Bought Note) හා විකුණුම් කුවිතාන්සිය (Sold Note) යන නම් වලින් හැදින්වෙයි. 

ඒ අනූව කොටස් මිළ දී ගත් ආයෝජකයෙකුට ගැනුම් කුවිතාන්සියක් ලැබෙන අතර, කොටස් විකිනූ ආයෝජකයෙකුට විකුනුම් කුවිතාන්සියක් හිමිවෙයි. ඊමේල් මගින් මෙම කුවිතාන්සිය ලැබේන්නේ නම්, ගනුදෙනු කල දිනයේම අදාල කුවිතාන්සිය එම ආයෝජකයා වෙත ලැබෙයි. මීට අමතරව තැපැල් මාර්ගයෙන් එය ලැබෙන්නේ නම්, ගනුදෙනු කල දිනයට පසු දිනයේ එය  ආයෝජකයා වෙත ලැබෙයි.

එහිදී, කොටස් වෙළද පොළට සම්බන්ධ වී ගනුදෙනු සිදුකළ බවට දෙන සහතිකයක් ලෙස ගැනුම් කුවිතාන්සිය හා විකුණුම් කුවිතාන්සිය පෙන්වා දිය හැකිය. මෙම කුවිතාන්සි දෙකෙහි මිළදි ගත් හෝ විකිණූ කොටස් ප්‍රමාණයන්, සමාගම් වල නාමයන්, මුදල් ලැබෙන් දිනය හෝ මුදල් ගෙවිය යුතු දිනය, මෙන්ම තැරැව්කාර ගාස්තු ආදි ගෙවිය යුතු අනෙකුත් ගාස්තු මොනවාද යන්න ඇතුළත් වෙයි.

CDS මාසික වාර්තාව
කොටස් වෙළද පොළට සම්බන්ධවන ආයෝජකයෙකු අදාල මාසයේ යම් කිසි ගනුදෙනුවක් සිදු කර ඇත්නම්, එම මාසය අවසානයේදී වාර්තාවක් හිමිවන අතර, එම වාර්තාව CDS මාසික වාර්තාව ලෙස හැදින්වෙයි. මීට පෙර සදහන් කළ ගැණුම් හා විකිණුම් කුවිතාන්සි කොටස් තැරැව්කාර සමාගම් මගින් එවනු ලබන නමුත්, මෙම CDS වාර්තා එවනු ලබන්නේ මධ්‍යම තැන්පතු ක්‍රමය මගිනි. එම CDS වාර්තාවේ එම මාසය තුළ අදාළ ආයෝජකයා සිදුකළ සියලුම ගනුදෙනු වල විස්තරයක් අඩංගු වෙයි. 

එනම්, අදාළ මාසය තුළ ආයෝජකයා මිළදී ගත් කොටස් ප්‍රමාණය, විකිණූ කොටස් ප්‍රමාණය, ඔහුගේ ඉතිරි ශේෂය ආදි සියලු තොරතුරු අඩංගු වෙයි. කලින් සදහන් කල ගැනුම් හා විකිණූම් කුවිතාන්සි මෙන්ම CDS මාසික වාර්තාවක් ආයෝජකයෙකුට අතිශය වැදගත් බව සිහියේ තබා ගත යුතුය.

ATS පද්ධතිය 
ATS යනුවෙන් හැදින්වෙන්නේ Automated Trading System යන්නයි. මෙය කොළඹ කොටස් වෙළද පොළේ වූ ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියයි. කොටස් වෙළද පොළට සම්බන්ධ වී සිටින සියලුම අයෝජකයන් මෙම ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය හරහා ගනුදෙනු සිදුකරයි. එහිදී, මෙම ගනුදෙනු පද්ධතිය වෙත අවතීරණය වීමේ හැකියාව ඇත්තේ කොටස් තැරැව්කාර සමාගම් වලට පමණි. ඒ අනුව, කොටස් තැරැව්කාර ආයතන මෙම ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය සමග සම්බන්ධ වෙමින් ආයෝජකයන්ගේ ගනුදෙනු ක්‍රියාත්මක කරනු ලබයි. 

කොළඹ කොටස් වෙළද පොළේ පවතින ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියේ ආරම්භය 1997 වසරේදි  සිදුවිය. එදා සිට අද දක්වාම මෙම ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය ක්‍රියාත්මක වෙයි. විශේෂ හේතුවක මත හැර, මෙම ගනුදෙනු පද්ධතියෙන් තොරව ආයෝජකයෙකුට කොටස් වෙළද පොළේ වූ ලැයිස්තුගත සමාගම් වල කොටස් ගනුදෙනු කිරීමේ හැකියාවක් නොමැත. 

ආන්තික ණය
ආන්තික ණය යන්නෙන් අදහස් කරන්නේ කොටස් වෙළද පොළේ ගනුදෙනු කිරීමට, එනම් කොටස් වෙළද පොළේ කොටස් මිළදී ගැනීම සදහා ආයෝජකයෙකු විසින් කොටස් තැරැව්කාර සමාගමක් මගින් හෝ වෙනත් ණය සපයන ආයතනයකින් ණය ලබා ගැනීමය. බොහෝ අවස්තා වල තමන් සතුව දැනට කොටස් වෙළද පොළේ ඇති කොටස් වල වටිනා කමින් 50% ක් වැනි මුදලක් ආයෝජකයෙකුට ආන්තික ණයක් ලෙස ලබා ගැනීමේ හැකියාවක් පවතී. එසේ ණයක් ලබාගෙන කොටස් වෙළද පොළේ ගනුදෙනු කිරීමට ආයෝජකයාට අවස්ථාව ඇත. 

නමුත්, මෙ‍ම ආන්තික ණය වඩා වැදගත් වන්නේ පරිණත ආයොජකයන්ට බව පෙන්වා දිය යුතුය. ඒ සමගම නවක ආයෝජකයන්ට ඇතැම් අවස්ථාවල මෙම ආන්තික ණය ලබා ගනීම ඉතාම අවධානම් ක්‍රියාවක් වීමට ද ඉඩ තිබේ. ආන්තික ණය වලින් සිදු කෙරෙන්නේ ආයෝජකයා සතු මුදල් වලට අමතරව තව මුදලක් ලබා ගෙන කොටස් වෙළද පොළේ ගනුදෙනු කිරීමකි. මෙසේ ආන්තික ණය ලබා ගැනීමෙන් ආයෝජකයාගේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව තවදුරටත් වැඩි වීමක් සිදුවෙයි.

එමෙන්ම, මෙය වඩාත් වැදගත් වන්නේ කොටස් වෙළද පොළ ඉතා ඉහළ යන අවස්ථාවක දීය. එවැනි අවස්ථාවකදී මෙවැනි ණයක් ලබාගැණිමේ අවධානම අඩුය. නමුත්, කොටස් වෙළද පොළක් පහළ යන අවස්ථාවක මෙසේ ආන්තික ණය ලබා ගැනීම අතිශය අවදානම් සහගති ක්‍රියාවක්වීමට පුලුවන් බව සිහිපත් කළ යුතුය.

අද පුවත් පතෙනි
 
   

No comments:

Post a Comment